ලංකාවේ උසම ගම්මානය (ශාන්තිපුර)

නුවරඑළිය නගරයට පෙනෙන දුරින් සුන්දර කඳු ගැටයක් මුදුනේ තේ වත්තක “හෙඩ්බාස්” කෙනෙක් හැටියට වැඩ කරමින් සිටි තරුණයෙක් වැඩ නැති වෙලාවට අවට කැලේ දිහා බලාගෙන ඉන්නකොට ලස්සන හීනයක් දකිනවා. ඔහු ඒ කැලේ එක්ක, පරිසරය එක්ක සිතින් කතා කරනවා. නිතර නිතර කතා කරනවා. ඒ හැම වෙලාවකම ඔහුගේ සිතට ඇතුල්වෙන්නේ ශාන්ති යෝජනා ක්‍රමයක් අලුතින් ඉදිවුණ ගම්මානයක්. අමුතුම ගම්මානයක්.

ඒත් ඔහු ගමක් හැදීමේ මුල්ම පියවර තැබුවේ තේවත්තේ හෙඩ්බාස් හැටියට ඉඳගෙනමයි. පුංචි සමිතියක් හදලා පවුල් 7ක් කැඳවාගෙන ඇවිත් තේවත්තට යාබද එහා පැත්තෙ කැලෑවේ පදිංචි කරවන්න කටයුතු කෙරුවේ හැමදාම හදවත පෙළන ශාන්ති යෝජනා ක්‍රමයට පින් සිදුවන්නට. ඒ 1959 අවුරුද්දේ අග භාගයේ විතර.

ලංකාවේ උසම ගම්මානය හැදීමට ලේ කඳුළු දහඩිය වගුරවමින් හැමඅතින්ම මූලිකත්වය ගෙන කටයුතු කොට සිය අන්තිම කැමැති පත්‍රයේ සඳහන් පරිදි ශාන්තිපුර ගම්මානයේම මිහිදන්වී අවසන් ගමන් ගිය ඔහු එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි ටී. විලියම් ප්‍රනාන්දු මැතිතුමන්ය.විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ.
මුහුදු මට්ටමේ සිට අඩි 7,342 ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා රැුසක් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, උසම ප‍්‍රදේශයේ පිහිටි මහාමාර්ග, උසම ජලාශය ආදී බොහෝ උසම ස්ථාන ඇත්තේ මෙහිය.
මෙරට උසින්ම පිහිටි පන්සල පිහිටියේ මෙහිය. එය මුල් කාලයේදී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණද එය පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට ඇත. විහාර භූමියේ වූ විශාල ගල්තලාවක් මත චෛත්‍යයක් ඉදිකොට ඇති අතර ඉන් පසුව මෙම විහාරස්ථානය චේතියගිරි විහාරය ලෙස නම් කරන ලද බව දැන ගන්න ලැබිණි

ශාන්තිපුර ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකොට තිබේ. එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනු ලබනුයේ ප‍්‍රාදේශීය සභාව මගිනි. මේ සඳහා මුදලක් අය කරනු ලබයි. එහි සිට ලංකාවේ උසම කදු වලට අයත් පිදුරුතලාගල, නමුනුකුල, හග්ගල, තොටුපල, කිරිගල්පොත්ත,අග්‍රබෝපත්, ශ්‍රීපාදය, උඩරදැල්ල සහ කිකිළියාමාන ඔබට දැකගත හැක.
ඔබගේ පුද්ගලික වාහනයකින් හෝ පොදු නුවර එලිය ශාන්තිපුර බස් රථයෙන් හෝ මෙම ස්ථානයට පහසුවෙන් ලගා විය හැකි අතර…නුවර එලියෙ එනවා නම් ශාන්තිපුරත් ගිහින් එන්න